December 9, 2022
උද්‍යානය හැඩකරන ඔබේ දෑතට ලෝකයක් සුවපත් කිරීමට හැකිය
‘උද්‍යානයක් සෑම වෙලාවක නිදහසේ කතා කළ හැකි කදිම මිතුරෙක් සේම නිරන්තරයෙන් පාඩම් කියා දෙන වටිනා ගුරැවරයෙකි’’. මන්ද සිය උද්‍යානය මත ශාක රෝපණයේදී ,පැලෑටි ඉවත් කිරීමේදී, පළිබෝධකයින් මර්දයේදී, අතු කප්පාදුවෙදි, පොහොර යෙදීමේදී යනාදී ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවන වැරදි මෙන්ම හානි පසුතැවීමට හේතුවක් නොවන බව උද්‍යානය විසින්ම කාලයත් සමග අපවෙත පහදා දෙනු ඇත. විටෙක හිරැ එළියත් තවත් විටෙක වර්ෂාවත් අපවෙත ස්වභාවික පැවැත්ම විලාසය අවබෝධකර දීමට මැදිහත් වනු ඇත. ඒ නිරන්තරයෙන් දළුලන මැරෙන මහා පරිසයක් තුළ උද්‍යානය කුඩා පරිසරයක් ලෙස පවතින නිසායි. පුද්ගලයෙක් හට තමන්ගෙන් සහ පවුලෙන් බාහිර තවත් ජීවී වස්තූන් පෙළක් රැක බලා ගැනීම සතුටුදායක හා අරමුණු සහිත විය හැකිය. ප්‍රසාද දීමනාවක් ලෙස, වෙහෙස මහන්සි වී රැකගන්නා කුඩා පැලෑටි මිතුරන් රසවත් කුඩා එළවළු,පලතුරැ ,මල් ,දළු ලබා දෙනු ඇත. එකී තෘප්තිය විසින් මනසට සිදු කරන ප්‍රතිකාරය අතිමහත්ය. මෙකී රසවත් කාර්යය වෙත සිය කුඩා දරැවන්ද එක්කර ගැනීම ඔවුනට අලුත් කරැණු ඉගෙනගත හැකි වටිනා අත්දැකීමක් වනු ඇත.
උද්‍යානය වෙත අප විසින් ලබා දෙන සත්කාරය- [උද්‍යාන සත්කාරය (Horticulture Therapy)] පෙරලා මානසික හා ශාරීරික ප්‍රති- සත්කාරකයක් ලෙස අපවෙත ලැබෙයි. එහිදී අප අතින් හැඩවන උද්‍යානය ලොකු වුවත් කුඩා වුවත් නගරයේ වුවත් ගම්බද වුවත් ඒ වෙත ලබා දෙන සත්කාරයේ ප්‍රතිඵලය විශාල වූවකි.
උද්‍යාන පරිසරයක් වෙත දක්වන සැලකිල්ල පිළිබද විද්‍යාත්මක දැක්මක් ගෙන එන්නේ 18 වන සියවසේදී පමණ ය. ඒ "ඇමරිකානු මනෝචිකිත්සාවේ පියා“ ලෙසින් පිළිගන්නා ආචාර්ය බෙන්ජමින් රෂ් (Dr. Benjamin Rush) විසිනි. ඔහු පවසා සිටින්නේ , ‘’ශරීරයේ භෞතික පද්ධතියේ අසමතුලිතතාවන් හේතුවෙන් ඇතිවන අසනීප සුවපත් කිරීමට මානසික සෞඛ්‍ය ශක්තිමත්ව පැවතීම වැදගත් වන අතර එහි සුවදායී බව වෙනුවෙන් තමා ජීවත්වන- ගැවසෙන- නිතර ගැටෙන හරිත අවකාශිත පරිසරය සමග ගණුදෙණු කිරීම අතිශය වැදගත් බවයි’’.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සත්කාරක ජාතික ආයතනය-National Institute of Health and Care of the United Kingdom (NICE) සහ මහජන සෞඛ්‍ය හා සමාජ සත්කාර සදහා මාර්ගෝපදේශ සපයන රාජ්‍ය නොවන ආයතන එක්ව සිදුකළ සමීක්ෂණයකින් (2011-2017) හෙළිවී ඇත්තේ පුද්ගලයන් කොළ පැහැති වටපිටාවක් දැකීම , එහි සැරිසැරීම, තණ පලසක ඇවිදීම, එහි වැතිර සිටීම, ගස් වැල් මල් වලට සත්කාර කිරීම රැකබලා ගැනීම නඩත්තු කිරීම යනාදිය තුළින් ඵලදායී වූ මනොචිකිත්සක ප්‍රතිකාරයන් ලැබෙන බවයි. එමෙන්ම කනස්සල්ල, කෝපය, බිය, සබකෝලය යනාදී විවිධ වූ තත්ත්වයන් කෙරෙහි අගනා පිළියමක් ලෙස හරිත අවකාශිත උද්‍යාන අලංකරන අංග වෛද්‍යවරැන් විසින් නිර්දේශිතකර ඇත. තවද එංගලන්තයේම පීටර්බර්ග් හි කැවල් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී (The Cavell Centre in Peterborough) වෛද්‍යවරැන්, ගෘහ නිර්මාණ ශිල්පීන් , උද්‍යාන නිර්මාණ සැකසුම්කරැවන්, විද්‍යාඥයින් එක්ව සිදු කළ පර්යේෂණයකින් තහවුරැ වී ඇත්තේ එකී රෝහල් පරිශ්‍රය හරිතමය අංග ඇතුලත්ව උද්‍යාන අලංකරණයන් සිදුකිරීම සහ එම පරිසරයන් රෝගීන්ට බුක්ති විදින්නට ලබා දීම, උද්‍යාන අවකාශය තුළ පොත පත කියවීම ,සක්මන් කිරීම යනාදිය හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍ය සුබසාදනය වර්ධනය වූ බවය. ඔවුන් රෝහලෙන් නික්මී ගිය පසු තම ගෙවුයනද නිසිලෙස හරිත ශාක මල් පැලෑටි සහිත අවකාශයක් බවට පත්කිරීමට කාලය යොදවා ඇත. උද්‍යානකරණය තුළින් මානසික ආතතිය වඩවන හෝමෝනය වන කෝටිසෝල් (cortisol) මට්ටම අඩුකරන බවත් මෙහිදී වෛද්‍ය වාර්තා මෙන්ම සහභාගීත්ව නිරීක්ෂන වාර්තා සැසදීමේදී තහවුරැ වී ඇත. එහිදී අධික රැධිරපීඩනය , දියවැඩියාව, ආතරයිටීස්, ඇදුම, ආමාශගත රෝග, පිළිකා යනාදී රෝගී තත්ත්වයන් මෙන්ම මානසික රෝග 48ක් පමණ සුවපත් කිරීමට හැකිව ඇත. තවද අසුබවාදී සිතුවිලි පහවීම,අනෙකා සමග සුහදව කටයුතු කිරීම, සතුට සාමුහිකත්වය වර්ධනය වීම, ප්රචණ්ඩව- කළහකාරීව නොහැසිරීම, ප්‍රජාවට නිසිලෙස ප්‍රෙව්ශ වීම යනාදී තත්ත්වයන් රැසක් ක්රමාණුකූලව වර්ධනය වී ඇත.
ගෙවත්ත පවුලේ සාමාජිකයන් අතින් හැඩවෙද්දී සිදුවන තවත් වැදගත් අංගයක් වන්නේ සිය දෑත් අපිරිසිදු වීමයි.එහි වැදගත් කම වන්නේ, මානසික සෞඛ්‍යය සුවතාව වැඩි දියුණු කළ හැකි බව පර්යේෂණ සනාථ කිරීමයි. පසෙහි ඇති මයිකොබැක්ටීරියම්-Mycobacterium මගින් මනෝභාවයන් ඉහළ නංවන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. පසෙහි ඇති මයිකොබැක්ටීරියම් ශරීරගත වීම මගින් මොළයේ නිපදවන හිතකර රසායණයන් වැඩි කරයි. මේ නිසා උද්‍යාන සත්කාරය තුළින් දෑත් අපිරිසිදු වීමත් මොළය සතුටට පත්වීමත් එකින්නෙක බැදී ඇති වාසි සහගත ක්‍රියාවන් වෙයි. මේ වාසිය ළමයින් වෙත රැගෙන ඒ්මට ලොව බොහෝ රටවල පාසල් ක්‍රියාකාරකම් ගොඩනැගිලිවලින් පිටත හරිත පරිසරය තුළ සිදු කිරීමට පෙළඹී ඇත. හරිත වටපිටාව සමඟ හැදී වැඩෙන දරුවන් ළමා කාලයෙන් පසු ජීවිතයේ විවිධ මානසික ආබාධ ඇතිවීමේ අවදානම 55% දක්වා අඩු බව .,ඩෙන්මාකය, නවසීලන්තය, ඕස්ටේ්රලියාව වැනි රටවල විශ්ව විද්‍යාල පර්යේෂණ පෙන්වා දෙයි. එහිදී ඔවුන් වැඩි අවදානයක් යොමු කරන්නේ ළමයින් කෙරෙහි වන ඇදුම රෝගය පිළිබදවය. එය අවම කිරීමට හරිත අවකාශිත අධ්‍යාපන ක්‍රමවෙදයට හැකිවී ඇති බව ප්රකාශිතය. තවද දුර්වල මතක සහ අවබෝධ ශක්තියක් ඇති දරැවන් ක්‍රමයෙන් ඉන් මිදීමට මෙය හේතු වී ඇත. හරිත වටපිටාව මනස සන්සුන් කරමින් පිරිසිදු වාතාශ්‍රයක් ලබා දීම එහි ප්‍රමුඛතම සාධකයයි. මුළු ළමා කාලයම හරිත විය යුතු බව ඔවුන්ගේ නිගමනය යි. මේ අනුව උද්‍යානයක් වෙනුවෙන් සිදුකරන කැපකිරීම වෙහෙස මහන්සිය රෝහල්, පාසල්, බන්ධනාගාර , ආබාධිත පිරිස් වෙසෙන නිවාස යනාදී පරිසර උද්‍යාන වෙතද දිව යයි. එහි වෙසෙන්නන් ඉන් ලබන ප්‍රතිලාබ පර්යේෂකයන් සනාත කරයි.
නිවෙස් උද්‍යාන බිම් මත වැඩෙන ශාක පැලෑටි සාරවත් පසක් නිර්මාණය කරන අතර පිරිසිදු වාතාශ්‍රය සහිත වටපිටාවක් සකස් කරයි.ශබ්දය- තාපය- දීප්තිය දුහුවිලි උරා ගනිමින් නිහඩ සිසිල් පරිසරයක් ගොඩනගයි. ජලය නිසි ලෙස බැස යාම, පාංශු ඛාදනය අවම කිරීම හරිත භූමි වැස්මකට හැකියාව ඇත. විහිදී ගිය අතු ඉති මතින් ලබා දෙන සෙවනැලිත් පත්‍ර මතින් පිටවන ජල වාශ්පත් නිසා නිවෙස් පරිසරය තුල සිසිලන පද්ධතියක් නිර්මාණය කරයි. එහිදී ඇතිවන සංයමය මනසට සුවයක් එක් කරයි. එය උද්‍යාන සත්කාරය නිසා අපවෙත ලැබෙන ප්‍රති සත්කාරයයි. වැටී ගිය කොළ වියෝජනය වීමෙන් පසට පෝෂ්‍ය පදාර්ථ එක්වන අතර එය උද්‍යාන පරිසරය සාරවත්ව නඩත්තු කරන වැදගත් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. ඒ අතර කුරුල්ලන්, සමනලුන්, ක්ෂ්‍රද්‍ර ජීවීන් ඇතුළු විවිධ සත්ත්ව කොටස් වෙත ආහාර ප්‍රභවයන් සකස්වන සංකීර්ණ හා විචිත්‍ර ජාලයක නිමැවුමක් උද්‍යාන බිම තුළ ගොඩනැගෙයි. මේ අයුරින් නිර්මාණය වන කුඩා ජෛව පරිසරය සමස්ත පෘථීවියේ පරිසර සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමට ද පිටුවහලක් වනු ඇත. මේ නිසා උද්‍යානය වෙත දක්වන සැලකිල්ල සහ සත්කාරය අපගේ ශාරීරක හා මානසික සෞඛ්‍යයට පමණක් නොව පෘථිවි පැවැත්මේ සෞඛ්‍යටද හිතකර වූවකි.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය