Taking too long? Close loading screen.

කොබෝලීල - Bauhinia

සමනල පියාපත් යුගලයක හැඩය මවමින් සැකසී ඇති හරිත වර්ණිත පත්‍ර සහිත සමනල රෑනක් වසාගත්තාක් සේ අලංකාර මලින් හැඩව  සුවදවත් වන‘ Bauhinia‘ අප හදුන්වන්නේ ‘කොබෝනීල හෝ කොබෝ ලීල‘ ලෙසයි. Bauhinia යනු  එහි විද්‍යාත්මක නාමයයි.විශාල වපසරියක් සහිත සපුෂ්ප ශාක පවුලක්වන Fabaceae පවුලට අයත් Bauhinia විශේෂ රැසක් පවතී. ස්විට්සර්ලන්ත-ප්‍රංශ උද්භිද විද්‍යාඥයන් වන ‘බව්හින් සහෝදරයන්‘( Bauhin brothers) වන ගැස්පාර්ඩ් සහ ජොහාන් විසින් මෙම කුලය නම් කර ඇත. සුදු පැහැයේ සිට දම් පැහැය දක්වා වූ වර්ණ සංයුතියන් තුළ නන්විධ පැහැයන්ගෙන්  විචිත්‍රවත්ව ඇති එහි පුෂ්පය පරිසරය අසිරිමත් කරන්නකි. චීනයේ සිට අග්නිදිග ආසියාව හරහා ඉන්දියව දක්වා වූ ප්‍රදේශයක එය  නිජබිම වී පවතී. ලංකාවේද බහුල වශයෙන් ගෙවතු තුළ රෝපිත අලංකෘත සෙවණ  ශාකයක් ලෙස මෙය හදුනාගෙන ඇත. සමනල ගස, ඔටුවන්ගේ පාදය, ඔටුවන්ගේ අඩි ගස, කඳු කළුවර, උඩවැඩියා ගස, දුප්පත් මිනිසාගේ උඩවැඩියා යනාදී විවිධ නාමයන්ගෙන් හැදින්වෙන කොබෝලීල රනිල කුලයට අයත් සපුෂ්ප ශාක විශේෂයකි.මේ අතර Bauhinia acuminata(සුදු පැහැති මල), Bauhinia blakeana(හොංකොං උඩවැඩියා ගස),. Bauhinia monandra, Bauhinia purpurea, Bauhinia variegata, Red Bauhinia  යනාදී  විශේෂයන් ලොවපුරා බහුලව  දක්නට ලැබෙන වර්ගයන්ය.    ද්විත්ව පෙති සහිත හරිත පැහැ  පත්‍රය හදවතකට හෝ සමනලයෙකුට හෝ ඔටුවෙකුගේ පා සලකුණකට සමාන හැඩයක් ගනී . එබැවින්‘ ඔටුවන්ගේ පාදය‘ යන පොදු නාමය මීට ලැබී ඇත.

චීනය, හොංකොං, සිංගප්පූරැව, ඉන්දියාව, නේපාලය  යනාදී රටවලට මෙම ශාකය හුදෙක් සෙවණ සහ මල් ගෙනදෙන ශාකයක් පමණක් නොවෙයි. එයට වඩා වැඩි වටිනාකමක් සමාජ භාවිතාව තුළ ශාකයට ලැබෙයි.ඉන් හොංකොං රාජ්‍ය විශේෂිත වූවකි.මන්ද ‘Bauhinia blakeana‘ යන විශේෂය එහි රාජ්‍ය ලංචනය ලෙසත් නිලධජයේ සංකේතය ලෙසත් යොදා ගනිමින් ඇත.එම විශේෂය ඔවුන් හදුන්වන්නේ ‘හොංකොං උඩවැඩියා‘ ලෙසයි.ඔවුන් එහි  පත්‍රය "දක්ෂ පත්‍රය" (聰明葉; chūngmìhng yihp) ලෙස හඳුන්වන අතර එය ප්‍රඥාවේ සංකේතයක් ලෙස සැලකේ. පාසල් දරැවන් සිය  අධ්‍යයන කටයුතුවලට වාසනාව ගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් පත්‍ර පොත් තුළ තබා ගැනීමටද පෙළඹෙයි. ‘ Bauhinia‘ ශාකයේ මල් සහ  මල් කැකුළු ඉන්දියාව නේපාලය යන රට වල විවිධ ප්‍රෙද්ෂ තුළ ප්‍රනීත  ආහාර සැකසුම්කාරක ද්‍රව්‍යයක් ලෙසින් යොදාගැනෙන බව ප්‍රචලිත කරැණකි.එහි ප්‍රතිඔක්සිකාරක ගුණය සහ පිළිකා නාශක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවිද්‍යාව තුළ සැලකෙයි.ලංකාවේද දේශීය වෛද්‍ය විද්‍යාව තුළ එය ගලගණ්ඩයේ ප්‍රතිකාරක ඔසුවක් ලෙස යොදාගැනෙන බව පොතපතෙහි සදහන්ය.

 

කොබෝලීල ශාකයේ මලෙහි පවතින ස්වභාවයත් එහි දීපිතිමත් වර්ණ සංකලනයත් හේතුවෙන් විවිධ කුරැල්ලන්, සමනලුන්, මී මැස්සන් ඊට දක්වන්නේ විශේෂිත ආකර්ෂණයකි.එය  අලංකාරයට එහාගිය වටිනාකමක්  පරිසරයට දායාද කිරීමකි. වසරේ යම් කාලයකදී විශේෂයෙන්  ජනවාරි- මැයි දක්වා වූ කාලය තුළ හටගැනෙන බීජ කරල එහි ව්‍යාප්තියට රැකුලකි.එහි පැහැය දුඹුරැ වර්ණිත වීමේදී ස්පෝටනය මගින් හෝ අප විසින් පුපුරවාහැර එහි පවතින බීජ සිටුවීමෙන් පැල ලබාගත හැකිය.පූර්ණ හෝ අර්ධ සුර්යාලෝකයට ප්‍රිය කරන කොබෝ ලීල පළිබෝධකයන්ට ගොදුරැවීමේ ප්‍රවණතාවය අඩුය.වියළි කාලගුණික තත්ත්වයක් යටතේ වුවද වියළි බව සන්සිදුවාලන මෙම ශාකය මලින් හැඩවී පරිසරය ජීවයෙන් පෝෂණය කරයි.

පොදුවේ සියළු Bauhinia ශාක තරුණ අවධියේ සිටම    ඒකාකාර හැඩයකින්  වර්ධනය කිරීම සඳහා නිසි කලට කප්පාදු කිරීම අවශ්ය විය හැකිය. අතු කපා නොදැමුවහොත් විශාල පඳුරක් සාදමින් පොළව දෙසට එල්ලා වැටීමක් සිදුවෙයි.කෙසේ නමුත් ශාකයේ නිසි වර්ධනයට සහ පැවැත්මට  නඩත්තු කටයුතු උපකාරී වේ.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!