August 31, 2022
ඖෂධීය ගුණයෙන් යුතු ලිලී පවුලේ රස කාරකය - සුදුළූණු
බිම් ගතව බල්බ ආකාරයේ බීජ පොකුරක් තුළ රසැති සුවදවත් ඵලයක් වර්ධනය වන සුදුළූණු ; එළවළුවක් ,කුළුබඩුවක්,ඖෂධීය පැලෑටියක්,රසකාරකයක්, වැනි ඕනෑම ආකාරයකින් හැදින්විය හැකිය. එහි තීව්ර හා අද්විතීය රසය සහ සුවඳ, ප්‍රධාන වශයෙන් ආසියානු, යුරෝපීය, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු සහ උතුරු අමෙරිකානු යනාදී කලාපයන් තුල ආහාර පිසීමේදී අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යයකි.ඉතිං හැමදාමත් කඩෙන් ගන්න සුදුළූණු ගෙවත්ත තුළ වගාකරගන්නේ කොහොමද කියන එකයි මෙම ලිපියෙන් පෙලගැහෙන්නේ.
ගෙවුයන තුළ යම් පැලෑටියක් රෝපණය කරද්දි අපි සැලකිලිමත් වෙන කාරණයක් තමයි පෙණුමට හානියක් නොවෙන ලෙස එය සිටුවීම.මෙහිදී ගෙවුයන තුළ ඉඩකඩ අවම වුවත් වැඩි ඉඩක් ඇති වුවත් බදුන් ගතවද බිම් ගතවද පැලට් පෙට්ටි මතද නිවස ඇතුලතද බැල්කනි හෝ කොන්ක්‍රීට් වහල මතද කුමන හෝ ඉඩක පෙණුමද ඇතිව ඵලදාව ලබන්නට හැකිවීම සතුටුදායක කරැණකි.සිත්ඇදගන්නා සුළු මල් පිපෙන ලිලී කුලයේ ශාක ගණයට එනම් Amaryllidaceae පවුලට අයත් සුදුළූණු මෙසපොතේමියාවේ අවම වශයෙන් අවුරුදු 4,000 ක් පමණ වගා කර ඇති බව අතීත පොත්පත් ගණනාවකම පෙන්නුම් කරයි. චීනයේ සහ ඊජිප්තුවේ සුදුළූණු භාවිතය වසර දහස් ගණනක් ඈතට දිව යයි. එපමණක්ද නොව හොඳින් සංරක්ෂිත සුදුළූණු ක්‍රි.පූ. 1325 දී පමණ ටූටන්කාමන්ගේ (Tutankhamun) සොහොන්ගැබෙන් හමු වී ඇත. ඊජිප්තුව, ජපානය, චීනය, රෝමය සහ ග්‍රීසිය වැනි විවිධ සංස්කෘතීන්හි ද සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ ද බොහෝ සේ යොදාගත් ඖෂධයක් වන මෙය ආතරයිටිස්, සර්පයින් සහ කෘමි දෂ්ට කිරීම්, නිදන්ගත කැස්ස සහ දුර්වල ශරීරයන් සදහා වූ ප්‍රතිජීවකයක් ලෙසද සුදුළූණු නිර්දේශ කර ඇත.
හොදින් වැඩුණු සුදුළූණු ගෙඩියක පලුදු නොවන සේ බික් වෙන්කර නිදහස් පොලව මත හෝ බදුන්ගතව මෙය රෝපණය කළ හැකිය.එහිදී ජලය පහසුවෙන් බැසයාමට හැකි සේ කොම්පෝස්ට් යෙදූ සැහැල්ලු සිනිදු පස් මත අගල්1- 2ක් පමණ ගැඹුරට හෑරෑ සිදුරැ තුළ එහි උල් හැඩැති පෙදෙස ඉහලට සිටින සේ තබා පස්වලින් වැසිය යුතු වෙයි.වැඩි ආර්ද්‍රතාවයක් නැති වියළි මෘදු පරිසර තත්තවයක් තුළ බීජ සුවසේ වර්ධනය වෙයි. ටික දිනකින් හරිත පැහැ දළු මෝදු වීම ඇරඹෙන අතර පැලෑටිවල උස සෙන්ටිමීටර් 20ක් පමණ වීමට මාස 2 ක් හෝ 3ක් ගතවනු ඇත. සුදුළූණු ‘බික්‘ පසයටට කොට මාස 6ක් හෝ 8ක් ගතවන විට දිගටි හරිත පත්‍ර බොහෝමයක් කහ පැහැ ගැන්වී බිමට නැබුරැ වෙයි. ඒ වන විට අස්වැන්න නෙලීමට සුදුසු කාලයයි. අස්වනු නෙලීමට සති දෙක තුනකට පෙර තියාම සතියකට වරක් හෝ දෙවරක් ලෙසින් දැමූ ජලය නැවැත්විය යුතුය. මන්ද පසෙහි පවතින තෙතමනය, හොදින් වැඩුණු ඵලය දිලීර ආසාදයන්ට ලක්වීම හෝ කුණු වී යාමට ඇති ඉඩ වැඩි නිසායි.
බදුන්ගතව බීජ සිටුවීමේදී සුදුසු පරිදි වියළි හා තෙත් පරිසර තත්ත්වයන් පාලනය පහසුය. එහිදී මුල් බැසීම පහසුවන්නට බදුන අවම අගල් 8-10ත් අතර පැවතීම යෝග්‍ය වුවකි. නමුත් ඊට වඩා ගැබුරැ සහ පළල් බදුනක් නම් එහි පැලෑටි 4ක් රෝපණය වියහැකි සේ බීජ පස්යට කිරීමේ දී සැලසුම් කළ හැකිය. ශාක පැලෑටිය මනාව වර්ධනය වීමේදී එහි වෙනස් සුවදක් වහනය වන සිත් ඇදගන්නා සුළු මලක් හටගනී. එය "ගඳ ගසන රෝස"[ Scented roses] ලෙසින් හදුන්වයි. සුදු ළූණු තුළ අන්තරගත විටමින් A,B,C,E මෙන්ම පොටෑසියම් ,මැග්නීසියම් යනාදී සංඝටක හේතුවෙන් COVID 19 වෛරසය සදහා වූ ප්රතිජීවියකයක් ලෙසින් බොහෝ දෙනා හැදින්වීමට පෙළබී ඇත. මෙසේ සරල ක්‍රියාවලියක් තුළ රෝපණයට හැකියාවක් ඇති, කෑම වේලට අතිරේකයක් ලෙස නැතුවම බැරි සුදුළූණු ඔබේ මුළුතැන්ගෙයි පැලෑටි එකතුවට- [Kitchen Garden] වටිනාකමක් මෙන්ම සිත් ඇදලන්නා සුළු පෙණුමක් එක්කළ හැකි පැලෑටියක් වනු ඇත.
උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය