Taking too long? Close loading screen.

පීඩකාරී හිරු එළියෙන් පසේ තෙතමනය ආරක්ෂා කරන Mulch ස්ථර (වසුන් / වාස්තර)

මේදින වල  අධික හිරැ එළියෙන් පීඩා විදින ඔබේ නිවසේ  , වැඩබිමේ, ව්‍යාපාරික ස්ථානයේ ,කාර්යාලයේ පවතින උද්‍යාන තුළද  පැල තවානේ,වගාබිමේ ද ඇති    ශාක ,ශාක පැලෑටි ,බෝග වර්ග ආරක්ෂාකරදෙමින් ඒවා  ප්‍රබෝධමත්ව  තබාගැනීමේ  ක්‍රියාවක් පිළිබද ඔබ දැනුවත්කරන අදහස් පෙළකි.

 

 මතුපිට පස වසාලන විිවිධ‘ වසුන්  ද්‍රව්‍ය ස්ථර ඇතිරීම‘(Mulching)  වගා මාධ්‍යයයේ  වාශ්පීකරණය අවම කරමින්  තෙතමනය රැකදෙන ඵලදායීම පිළිවෙතයි. අධික හිරැ එළිය පරාවර්ථනය කරමින් ජලය වාශ්පවීම අඩුකර පාංශු උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරන පලිහක් බවට පත්වී පසත් ශාක -පැලෑටි මූල පද්ධතීනුත්  එමගින්   ආරක්ෂා කරයි.වර්ෂා කාලයේ පසට  ජල පෙරණයක් සේ ක්‍රියාකරන   වසුන්, වියළි කාලයේ දී   පස මතට පතිත වන සූර්ය රශ්මියේ   විශාල කිරණ  ප්‍රමාණයක් පරාවර්තනය කිරීමට සමත් වෙයි. මෙමගින්  පස සිසිල් වන අතර වාෂ්ප වීම වළකාලයි. උණුසුම්, වියළි දේශගුණයක් තුළ මෙය බොහෝ සේ වැදගත් වේ. එය උද්‍යාන බිමේ වියළි පෙණුම වෙනුවට සිසිල්  බවක්  ලබා දෙමින් ජලයද කලමණාකරණය කරන පිළිවෙතකි.

මල් පාත්තියට ,එළවළු වගාවට,පලතුරැ ශාක වලට, අනෙකුත්  ශාක   පැලෑටිවල යටි ස්ථරයේ වසුන් ද්‍රව්‍ය අතුරාලීම  පස සහ ශාක මූල පද්ධතියට අධික වර්ෂාවෙන් මෙන්ම අධික හිරැ එළියෙන් වන පීඩාවෙන්  ආරක්ෂාකර  උද්‍යානයට නව පෙනුමක් ලබාදීමට  සමත් වීමකි. අකාබනික ද්‍රව්‍ය වසුන් සේ පැවතියද වඩාත් පාංශු හිතකර  කාබණික වසුන් /වාස්තර ඇතිරීම බහුලව යොදා ගැනෙයි. එහදී දිරාපත් වූ කොළ ,දිරාගිය තෘණ, පිදුරැ , කොහුබත්  කොම්පෝස්ට් මෙන්ම  අගුරැ , සත්ත්ව කාබණික ද්රෙව්ය (කුකුළන් ගවයන් ආදී සත්ත්ව මළ අපද්‍රව්‍ය) ,වේලුන  කුඩා දර පතුරැ , ලී කැබලි,ලී කුඩු, කඩදාසි - කාඩ්බෝඩ්, කුඩා පොල්ලෙලි කැබලි, කුඩාවට කැබලි කරගත් බිත්තර කටු, සුදුළුණු පොතු කැබලි  මිශ්‍රන ද  යොදා ගැනීම සිදුවෙයි.

උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ ශාකවල නිසි ක්‍රියාකාරීත්වය රැක දෙමින් උද්‍යානයේ පෙණුම සිසිල් බවකින් පවත්වාගන්නට වසුන් මගින් ඵලදායී  කාර්යයක් සිදු කරයි.ශාක සදහා යොදන ජලයෙහි තෙතමනය වැඩි කාලයක් රැකදෙමින් වාශ්පීකරණය අවම කර අධික උෂ්ණත්ව විචලනයන්ගෙන් පසත් ශාක මූල පද්ධතියත් සිසිල්ව තබා ගනිමින් උද්‍යානයේ ශාක පද්ධතිය  ආරක්ෂාකිරීම මෙහිදී සිදුවෙයි.වසුන් මගින් පොගවා ගන්නා ජලය පස තුළට ක්‍රමාණුකූලව බැස ගොස් ලිහිල් පාංශු ව්‍යුහයක් ගොඩනගයි.එමගින් වැඩි කාලයක් ජලය රදවා ගැනීම සිදුවෙයි.ශාකවල ප්‍රාණවත් බව රැකදෙන්න නිතර නිතර ජලය යෙදීමේ ප්‍රවණතාවයද අඩුවෙයි. කාබනික වසුන් වල ඇති පෝෂ්‍ය පදාර්ථ ක්‍රමයෙන් පස වෙත මුදා හරින විට ඒවා  ජලය හා මුසුව  මූල පද්ධතිය විසින් උරා ගන්නට පස ලිහිල්ව තබාගන්නට වසුන් රැකුලකි. තවද පස පෝෂණය කරන පාංශූ ජීවීන් ආරක්ෂාකර දෙන අතර පස මතුපිට ස්ථරයේ ඇති හිතකර දිලීර බැක්ටීරියා දහස් ගණනින් සුරැකීමට මෙම වසුන් ස්ථර සමත්වෙයි. එමගින් පසෙහි ගුණාත්මක භාවයද රැකදෙයි. එය නැවත ශාකයේ වර්ධනයට රැකුලකි.

වර්ෂා සමයේදී පසවෙත පතිතවන ජලබිදිති සෘජුවම පසවෙත වැටී මතුපිට ගලාගොස්  පාංශු ඛාදනය සිදුවීම  වලකාලන්නට වසුන් ස්ථර වලට හැකිය.එහිදී  ජලය පසට පොගවා ගනිමින්  පොෂකයන් රැකදෙන්නට වසුන්  උපකාරී වෙයි. වර්ෂාවේදී පෙරණයක් සේ ක්‍රියාකරන වසුන් වැසි  ජලයේ මිශ්රිත අම්ල-දූවිලි අංශු  Mulch ස්ථරය මතින් පෙරීමට ලක් වී පසෙහි සාරවත් භාවය රැක පෝෂණීය  ජල ධාරාවක්  අභ්‍යන්තරයට  ගලා යාමට සලස්වයි. මල්පාත්තියක,ශාක යටි ස්ථරය මත, බෑවුම් මත පාංශු ඛාදනය වැළැක්වීමට සහ මල්, එළවළු වගාවන් සඳහා නිෂ්පාදන ප්රදේශ වල මතුපිට පස් ස්ථරය මත වසුන් ස්ථර සාමාන්යයෙන් අඟල් දෙකක හෝ ඊට වඩා ගැඹුරින් භාවිතා කරයි.මෙවැනි ද්‍රව්‍ය මිශ්‍රණයන්  මගින් පසෙහි හියුමස් ප්ර්මාණය වැඩි වී පස සාරවත් කරයි.තවද වසුන් ක්‍රමයෙන් දිරාපත් වී ඒවා පාංශු ජීවීන්වෙත ආහාරයක් වෙයි. එය   පසට හිතකර බැක්ටීරියා දිලීර  සදහා  මෙන්ම පාංශු ජීවීන්ට ද රැකවරණයකි.

වසුන් දිරාපත් වූ විට නව වසුන් ස්ථර ඇතිරීම යෝග්‍ය වූවකි.එය ශාකයෙහි ක්‍රියා කාරීත්වය නිසිලෙස සිදු වීමට උදව්වකි. එලෙසම උණුසුම් කාලයේත් ශීත කාලයේත් කොළරොඩුමත නිවෙස් තනා ගන්නා සමනලුන්, සළඹයින් ,කණාමැදිරියන් වැනි පරිසර හිතකාමී කෘමීන් වෙත උචිත පරිසරයක් සැකසීමට වසුන් මගින් පිටුවහලක් වෙයි. ඔවුන් සිය සංසර්ඝ කටයුත් මෙන්ම බිත්තර තැන්පත් කිරීමද කොළරොඩුමත සිදු කරයි.එවැනි කාබනික වසුන් පුංචි පුංචි පරිසර හිතවතුන්ගේ පැවැත්මද රැකදීමකි.තවද වසුන් මගින් අනවශ්‍ය වල් පැලෑටි රෝපණය සහ වර්ධනය වලකාලයි. මක්නිසාදයත් ශාක යට වැවී ඇති   වල් පැලෑටි මත අතුරන වසුන් හිරැ එළියට ළගා වීමට ඉඩ නොදෙන නිසාය.එමෙන්ම පසෙහි අන්තර්ගත පෝෂක සංඝටක වාශ්පීකරණයට ඇති ඉඩකඩ අසුරාලයි. මෙසේ භාවිතා කරන වසුන් ද්රව්ය විවිධ සාධක මත රඳා පවතී.එනම් රසායනික ප්රතික්රියා සහ pH අගය, කල් පවත්නා බව, පිරිසිදුකම, පසෙහි පෙනුම, යනාදිය මත උද්‍යානයට  ගෙන එන පෙනුමෙහි සෞන්දර්ය නෙතට ගෙන එන්නේ විවිධත්වයකි.

මේ ආකාරයෙන්ම පාෂාණ වසුන් ස්ථර යොදා ගැනීමටද බොහෝ  පිරිස් පෙළබෙයි.ඒ තුළින්  උද්යානයට දීප්තිමත් පෙනුමක් ලබා දුන්නමුත් කාබණික වසුන් මෙන් පාංශු උෂ්ණත්වය  හෝ තෙතමනය පාලනය කිරීමක් ඉන් සිදු නොවෙයි.මේ නිසා මාවත් ,පියගැට පෙළ යනාදිය වර්ණවත් කිරීමට විවිධ වු පාෂාණ ඇතිරීම සිදු කළද ශාක හෝ මල් පාත්ති සදහා වූ වැස්මකට පාෂාණ එතරම් යෝග්‍ය  නොවූවකි.

මේ ආකාරයට  පසෙහි ගුණාත්මක බව  වැඩිදියුණු කිරීම සඳහා දිගු කාලීන ඵලදායී ක්‍රියාවක්  ලෙස, වසුන් යෙදීමේ ප්‍රතිලාභ බෙහෙවින් වැඩි ය. බොහෝ බෝග සහ ශාක යටි ස්ථර  සඳහා වසුන් යෙදීමෙන් පැවැත්ම සහ ඵලදාව  වැඩි කිරීමටත්,වාශ්පීකරණය අවම කර  ඛාදනය වැළැක්වා , උද්‍යාන පසෙහි  සාරවත් බව සහතික කිරීමටත් හැකි වේ.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!