Taking too long? Close loading screen.

උණුසුම සහ සිසිල සමබර කරන දම් පාට

ඉන්ඩිගෝ, Purple Color  ,Violet මේ හැම නමකින්ම හදුන්වන ‘දම්පාට‘ අනෙක් වර්ණයන් සමග ගත්කළ වඩා කුතුහලයක් දනවන වර්ණයකි. ඒ එයට මුහුණු දෙකක් ඇති බැවිනි. එය ගිනියම් වූ ‘රත්‘ පැහැයත් සිසිල් සාගරයේ ‘නිල්‘ පැහැයත් සංයෝජනය වී සැකසුන අධි සංඛ්‍යාත ද්වීතික වර්ණයකි. රතු - දම් පැහැය උණුසුම්ව තීවෘරව පෙනී ඇස දෙසට වර්ණාලෝකය ගමන් කරන අතර නිල් -දම් පැහැය නිරවුල්ව සිසිල්ව ඇසට අසුවන්නේ අක්ෂිකාචයෙන් පිටතට විහිදෙන ආලොක කිරනක් ලෙසිනි.උද්‍යාන භූ දර්ශනයක් හැඩ වැඩ කරන ශාක පත්‍ර හෝ මල් මතින් විදහා දැක්වෙන දම් පැහැය හැර වෙන කොතනකදී හෝ හමුවන දම් පැහැයකට මෙකී උණුසුම් හා සිසිලසෙහි පරිපූර්ණ බව විදහා දැක්විය නොහැකිය. විවිධ වර්ණ සහිත වූ මල් ගොමුවක් තුළ දම් පැහැති මල් පැවතීම ඉතා සංකීර්ණ වර්ණ ගණනාවක් අතිශයින්ම සරල දර්ශනයක් බවට පත් කිරීමට හැකිය.ඊට  එහි ඇති උණුසුම් සිසිල් සුසංයෝගය උපකාරී වෙයි. දම් පැහැයෙහි ඇති මෙකී ගුණය වඩාත් හොදින් හදුනාගත හැකි නම් උද්‍යාන නිර්මාණයකදී වඩාත් උචිත වර්ණ එකතුවක් සහිත පැල ව්‍යාප්තියකින් භූ දර්ශනය හැඩ කිරීමට උද්‍යාන නිර්මාණ කරැවෙක් සමත්වනු ඇත. එය කෙසේද යත්   නියම ලෙස ගැලපූ රස, පාට,සුවද සහිත හොද්දක් සැකසීමකට සමාන වනු ඇත. උද්‍යාන  පරිසරයක්  මත පවතින  අදුර සහ ආලෝකය කළමනාකරණය කිරීමට  මල් ගොමුවකට හැකි වන්නේ ඒමත නියම ලෙස වර්ණ,හැඩය සහ ගුණය  ගැලපීමෙනි.

1672 දී දෘශ්‍ය ආලෝකයේ වර්ණාවලිය බෙදීමේදී විද්‍යාඥ  ‘අයිසැක් නිව්ටන්‘ විසින් ලේබල් කරන ලද වර්ණ හතෙන් එකක් වන මෙම දම් පැහැය ශතවර්ෂ ගණනාවක් පුරා එංගලන්ත රාජකීය පවුලේ වර්ණය ලෙසින්ද  පැවත ඇත. දෙවන එළිසබෙත් රැජිනගේ රාජාභිෂේකයේ නිල වර්ණය දම් පැහැය වූයේ ද ඒ නිසයි.රැජිනගේ මල් කළඹ (Queen’s Wreath  ) ලෙසින් ‘ Petrea volubili’  මල් පොකුර නම් කර ඇත්තේද රැජින දම් පැහැයට දක්වන ඇලුම්කම  හේතුවෙනි. මේ අනුව උදයාන පරිසරයක පහස ලබන; දම් පැහැතිව  මල් පිපෙන සහ පත්‍ර සහිත  ශාක පෙළගැස්ම දීර්ඝ වූවක්  වන අතර අයිරිස් ,රෝස , ටියුලිප් ඒ අතර ප්‍රමුඛයෝය. අධ්‍යනයන්ගෙන් පෙනී යන්නේ පරාග වාහකයින්ද දම් පැහැයට වඩා ආකර්ෂණයක් දක්වන බවකි. එ් අතර මී මැස්සන්  සමනලයින් ප්‍රධාන වෙයි. මෙහිදී දම් පැහැය ඕනෑම වර්ණයක් සමග සුසැදිව ඕනෑම පසුබිමක් මත සුදුසු ලෙස දර්ශනය වීමට ඇති හැකියාව පරාග වාහකයින්ගේ චලනයන්ට වාසි සහගතව බලපා ඇත. තවද රතු සහ නිල් වර්ණ පරාසය තුළ වර්ධනය වන පුෂ්පයන් වැඩි පැණි ප්‍රමාණයක් නිපදවන බැව් ශාක විද්‍යාඥයින්ගේ අදහසයි. එය පරාගණය වීමට කැමති මලක් සහ වැඩි  මල් පැණි ප්‍රමාණයක්  අනුභව කිරීමට කැමති කෘමියෙකු අතර සියවස් ගණනාවක් තිස්සේ වර්ධනය වූ සම්බන්ධතාවයකි . මේ අනුව   පරිසරයේ පැවැත්ම සහ සමතුලිතය රකින්නට පරිසරයෙන් මතු වූ වර්ණයක් ලෙස ‘දම් පැහැය‘ පෙන්වා දෙයි.

කලාව සහ සාහිත්‍යය තුළ, දම් පාට බොහෝ විට රාජකීයත්වය, අධ්‍යාත්මිකත්වය, සන්සුන් භාවය සහ දැනුම සමඟ සම්බන්ධ වේ. දම් පාට දෙස බැලීමෙන් දම් පැහැය ඇස ගැටීමෙන්  ශරීර  අභ්‍යන්තරයෙන්  සන්සුන් හැඟීම් වර්ධනය වන බව  සොයාගෙන ඇත. උද්‍යාන නිර්මාණකරණයේදී ඉන්  නිහඬබව  මානසික  විවේකය ඇතිකරන්නක් බැව් පැවසෙයි. එය එසේ වන්නේ එය සකස් වී ඇති මූලික වර්ණදෙකෙහි ස්වභාවය නිසායි.මන්ද ‘රතු‘ ඇස දෙසට වර්ණය පැමිනීමත් ‘නිල්‘ ඇසෙන් ඉවතට ආලෝකය ගමන් කිරීමත් නිසා උණුසුම සිසිල සමබර වී පරිසරය තුළින් ඇසට සන්සුන් බවක් ගෙන එමයි. මේ අනුව ‘දම්‘ පැහැති ශාක අනෙක් පැලෑටි මල් පත්‍ර කද මත පවතින  වර්ණයන් හා ගලපමින් උද්‍යාන භූමියක් හැඩකරන්ට යොදා ගැනීම වඩාත් උචිත වූවකි. එය මනසට සුවදායක ගෙවුයන් පරිසරයක් සකස් කිරීමකි.

krishan

උද්‍යාන නිර්මාණශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content selection is disabled!!